මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ "සෙංකොට්ටං"
" කුල බෙදුම් කුමට
රතු ලෙයට"
මහින්ද ප්‍රසාද් මස් ඉඹුලයන්ගේ අති විශිෂ්ඨ වූ කලා කෘති අතරින් එකක් ලෙස සැලකෙන "සෙංකොට්ටං " තුළින් ශ්‍රී ලංකාවේ අතීත ජන සමාජය තුළ විරාජමානව පැවති වර්තමානයේ ද එහි සේයාවන් හොල්මන් කරන කුල භේදය හා ජන සංස්කෘතිය මානව හැගීම් සමග මනාව සම්මිශ්‍රණය කොට පෙන්වා දෙයි. අතීතයේ පැවති බෙරව, රදා, ගොවි, ආදි කුල භේදයන් මත ගොඩ නැගෙන මෙම කතා පුවත තුළ කවර මිනිසකු තුළද ඇත්තෙ සතුට, දුක කාංසිය, වේදනාව, රාගය වැනි හැගීම් බව මනාව විග්‍රහ කරයි. එම සෙංකොට්ටන් කතාවේ එන පොඩිනාගේ දරුවා වූ බබා හේනයාට නම්බු හේනයා පියා වන්නෙ බබා හේනයාට ගොවී කුලයට තිබූ අයිතිය නිර්ධය ලෙස අහිමි කරමිනි. වීරප්පුලි හේනයා, බබා හේනයා, මල්මා රිදි, නම්බු හේනයා, පොඩිනා සමාජ බෙදීම් මත පීඩාවට පත් වූ හැගීම් හිර කරගත් මිනිසුන්ය. ඔවුන්ට තම අයිතීන් පවා අහිමි වන්නේ නිර්ධය අන්දමිනි. හැගීමට වර්ණ ජාති ආගම් භේද බලනොපාන බව පාඨකයාට හඬගා කියන්නට මස් ඉඹුලයන් සමත්ව ඇත. තම දරුවාගෙ සැබෑ පියාගෙ පහස සොයා ගිය පොඩිනාට අත්වෙන බියකරු ඉරණමටද සැබෑම හේතුව කුලයයි. රදා කුලයේ ගැහැණියක් කුණු සේදීමට පමණක් යෝග්‍ය බව කියමින් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ලබා ඇය මරා දමන සිත් පිත් නොතිබුණු උසස් යැයි සම්මත කුල වල මිනිසුන් සත්‍ය වශයෙන්ම මනුසත් බවින් උසස් දැයි යන්න ප්‍රශ්නයකි.
අටමස්ථානයට පුදු පූජා කරන්නට අඩු කුල මිනිසුන්ට නොහැකි බව බුදු බණෙහි ඇත්තේද? මිනිසුන් බුද්ධ වචනය තමන්ගෙ අභිමතය පරිදි වෙනස් කර සමාජගත කල අන්දමද මෙම කෘතියෙන් පෙන්වා දී ඇත.
" මේ මහානුබල සම්පන්න පුණ්‍ය කර්මෙට කිළි මුහු වෙන්න දෙන්න බෑ. ලොකු උපාසක තැන ගෙවල් කියන්නෙ කිල්ලෙ උපත."
බබා හේනයා පසු කාලීනව අත මිට සරු මුදලාලි කෙනෙක් වූ පසු මුදල් බලෙන් තම කුලය වසා ගත් අන්දමත් උගත්කම හා මුදලින් කුමන අඩුවක් වුවත් සමාජය විසින් වසා දමන බවත් මෙම කතා පුවතෙන් පෙන්වා දී ඇත. මේ අනුව සමාජයේ බෙදී යාම් හා ඒ තුළින් පීඩනයට පත්වෙන මිනිසුන්ගේ ඉරණම විසදෙන ආකාරය සෙංකොටං කතා වෙන් විග්‍රහ කරයි. සුදු ඇදුමේ පැල්ලම මකන සෙංකොට්ටං, සමාජයේ කුල භේදය සෝදා දමන සේදුම්කාරකයක් බවට පත් කිරීමට මස් ඉඹුල මහතා සමත් වී ඇත.
සටහන
ගයත්‍රි ප්‍රභාෂිනි වික්‍රමසිංහ
ශ්‍රී පාලි මණ්ඩපය
කොලඹ විශ්ව විද්‍යාලය

Comments
Post a Comment